Wednesday, December 5, 2012

වලිගය තමයි ලෙඩේ


එක් ගමක ප්‍රසිද්ධ හොරෙක් සිටියේය. ඔහු කාගේ හෝ එළු පට්ටියකින් එළුවෙක් හෝ කුකුල් පට්ටියකින් කුකුලෙකු හෝ ගව පට්ටියකින් වහු පැටියකු හෝ සොරකම් කළේය. ඒ කිසිවක් හෝ නොහැකි වී නම් කාගේ හෝ කෙසෙල් කැනක් හෝ කපා ගත්තේය. කාගේ හෝ යමක් නැති වුවහොත් එකත් එකටම අසවලා හොරකම් කරන්න ඇතැයි කියන තරම් ඔහු ප්‍රසිද්ධ විය.
දිනක් මොහු එළු පට්ටියකින් එළු පැටියෙක් සොරකම් කළේය. ඌ තුවාකින් වසා කර පින්නා ගෙන ගියේය. අතරමගදී මොහුට ගමේ මිනිසෙක් හමුවිය. "කොහෙද උබ හදිසි හදිසියේ දුවන්නේ?" යි ඔහු සොරගෙන් ඇසුවේය. "පුතාට බේත් ටිකක් ගන්න වෙද ගෙදරට යනවා." යි සොරා කිවේය. "පුතාට මොකක්ද අසනීපය?" "මට හරියටම කියන්න බැහැ. වෙද මහත්තයාගෙන්ම තමයි අහන්න වෙන්නේ?" එවිටම තුවායෙන් එලියට අවුත් තිබූ වලිගයක් මිනිසා දුටුවේය. 'පුතා නම් වලිගයක් කොයින්ද? මේ සොරකම් කරපු සතෙක්' යැයි සිතා ගත් මිනිසා, "පුතා නම් ඔය වලිගයක් මොකද?"යි ඇසුවේය. "වලිගය තමයි ලෙඩේ. ඒකට තමයි බෙහෙත් ගන්න යන්නේ. එතකොට වලිගය නැති වෙලා යයි නොවැ" යි හොරා කිවේය. ඒ සමගම එළු පැටියා "බෑ...!" කියා කෑ ගැසුවේය. එය අර මිනිසාටද ඇසුණේය. එහෙත් හොරා ඊට වැඩි ශබ්දයෙන්, "බෑ කියල කොහොමද? ඔය වලිගය වැටෙන්න බෙහෙත් ගන්නම ඕනේ." යි කියා ගමන ඉක්මන් කළේය.

No comments:

Post a Comment